නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස ’අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්පගොචරා’ ’සාරඤ්ච සාරතො ඤත්වා - අසාරඤ්ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති - සම්මාසංකප්පගොචරා’ - යමක වග්ග, ධ.ප. සැදැහැවත් පින්වතුනි, නියම දියුණුවක්, ප්‍රගතියක්, කෙනෙකුට සළසාගන්න පුළුවන් වන්නේ නිස්සාරදේ අතහැරලා සාරවත් දේ පිළිගන්නා තරම් ආත්ම ශක්තියක් ඇත්නම් පමණයි. නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් දකින වැරදි ආකල්පයක් ඇති තැනැත්තාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. සරු දේ දකින්න ලැබුනු හැටියේ නිසරු දේ අතහරින වටිනා ප්‍රතිපත්තියක් අපේ පැරණි ශ්‍රී ලංකාවාසීන් තුළ තිබුන නිසා තමයි අද වගේ පොසොන් පොහොය දවසක ඒ මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලක්දිවට අරගෙන ආපු සම්බුද්ධ ශාසනය මේ රටෙ මුල් බැස ගත්තෙ. ඒ ශාසනයේ අනාගතයටත් හේතුවන ඒ වටිනා ප්‍රතිපත්තිය පිළිබදව ප්‍රකාශ කෙරෙන ගාථා දෙකක් තමයි අපි අද මාතෘකා කර ගත්තෙ. මේ ගාථා දෙක දේශනා කරන්ට හේතු වුනේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක සැරියුත් මුගලන් මහා ස්වාමීන්වහන්සේලාගේ ජීවිත පිළිබද යම් යම් සිද්ධි මුල් කර ගෙනයි. සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම මේ බුද ශාසනයට එකතු වෙලා සඟ පිරිසට එකතු වෙලා, රහත් බව ලැබුවට පස්සෙ බුදු රජාණන් වහන්සේ සඟ පිරිස රැස් කරල මේ ස්වාමීන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු දී වදාළා. ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා අතර යම් කිසි විචේවනාත්මක අදහස් පළකිරීමක්, කසුකුසුවක් ඇති උනා, බුදුරජාණන් වහන්සේ මේ තනතුරු දීපු ආකාරය ගැන. මූණ බලලා දන් බෙදන්නා වාගේ පක්ෂග්‍රාහී වැඩක්ය බුදුරජාණන් වහන්සේ කළේ. අගසව් තනතුරු දෙනවා නම් දෙන්න තිබුනේ මුලින්ම මහණ වුන පස්වග මහණුන් වහන්සේලාටය. එහෙම නැත්නම් යසකුල පුත්‍ර ප්‍රධාන ඒ පස් පණස් නමගෙන්ය තෝරා ගන්නා තිබුනේ. එහෙමත් නැත්නම් හද්ද වග්ගිය පිරිසේ ඒ තිස් නම අතුරෙන්ය. එහෙමත් නැත්නම් උරුවෙල් කාශ්‍යප ආදී දහසක් සංඝයා වහන්සේලා අතුරෙන්ය කියලා, ඔය විදියට සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ පිළිබදව යම් කිසි දෝෂාරෝපණයක් වගේ කථාවක් යෙදිල ඉන්න කොට බුදු පියාණන් වහන්සේ “කුමක්ද, මහණෙනි, කථා කරන්නේ” කියල අහල කාරණය ප්‍රකාශ කළහම “නෑ, මහණෙනි, මම මූණ බලල තනතුරු දෙනව නොවෙයි. ඒ ඒ අයගේ අතීත ප්‍රාර්ථනා, පාරමී ශක්තිය අනුවයි මම තනතුරු දෙන්නේ” කියල ඉතාමත්ම සවිස්තරව අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ, යසකුල පුත්‍ර ආදීන් වෙන වෙනම ඒ අය අතීතයේ කළ පින් දහම්, පෙර ලබා ගත්තු විවරණ ආදිය ප්‍රකාශ කරල අවසාන වශයෙන් වදාළ සැරියුත් මුගලන් දෙනම අනොමදස්සී බුදුරජාණන් වහන්සේ වෙතින් අගසව් තනතුරු ලබා ගැනීමට නියත විවරණ ලැබූ ආකාරය. ඒ සියලුම ප්‍රවෘත්ති ප්‍රකාශ කරල ඉවර වුනාට පස්සේ සැරියුත් මුගලන් ස්වාමීන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරල පිරිස ඉදිරියේ ප්‍රකාශ කළා බුදුපියාණන් වහන්සේ ළහට එන්න කලින් සත්‍ය ගවේෂණයේ තමන් වහන්සේලා යෙදුනු ආකාරය. ඒ ප්‍රවෘත්තිය අපි සැකෙවින් සඳහන් කරනවා නම් මේ විදියටයි. මේ පින්වතුන් බොහෝ දෙනෙක් අහලත් ඇති මේ දෙනමගේ වටිනා ජීවත ප්‍රවෘත්තිය. උපතිස්ස කෝලිත කියල බමුණු කුල දෙකක් ඒ රජගහ නුවර තිබුන. ඒ ප්‍රධාන පවුල්වල ඉපදුනා පින්වත් බමුණු මාණවකයින් දෙන්නෙක්. උපතිස්ස කෝලිත යන නම් මේ දෙදෙනාට ලැබුනා. මේ පවුල් කාලයක් තිස්සේම ඔවුනොවුන් මිතුරව සිටියා. ඒ වගේම මේ දෙදෙනාත් ඉතාමත්ම සමීප මිත්‍රයන් හැටියට හැම කටයුතුම එකට කරන්න පටන් ගත්තා. තරුණ කාලයේ දී ඉගෙනීම් ආදිය කරල අවසාන උනාට පස්සේ, සාමාන්‍යයෙන් තරුණයින් යොමුවෙන්නා වගේම විනෝදාංශවලටත් යොමුවෙලා අවුරුදු පතා රජගහ නුවර පැවැත්වෙන ගිරග්ග සමජ්ජ කියල කියන යම් කිසි සමාජ උත්සවයක් බලන්න පුරුදු වෙලා සිටිය. දන් මේ කාලෙ විවිධ ප්‍රසංග, සංගීත රාත්‍රී, ආදී වශයෙන් ඔය තියෙන්නේ, ඒ වගේ දෙයක් වෙන්න ඇති. කඳු මුදුනක පැවැත්වෙන උත්සවයක්. ඉතින් එහෙම සිරිතක් වශයෙන් තිබුණ නමුත් එක අවුරුද්දක, එක අවස්ථාවක, ඒ ගිරග්ග සමජ්ජ උත්සවය බලන අතරේ - ඒ වෙනකොට මේ දෙන්නාගේ සාංසාරික බුද්ධිය මුහුකුරා ගිහිල්ල, මෝරල, තිබුන නිසාදෝ - වෙනද වගේ සිනහ විය යුතු තැන් වල සිනහ වෙන්නෙ නෑ. සංවේගය දක්විය යුතු තැන්වල සංවේගය දක්වන්නේ නෑ. තෑගි දිය යුතු තැන්වල තෑගි දෙන්නේ නෑ, කලකිරිල වගේ බලාගෙන ඉන්නවා. දෙන්නාට දෙන්නා කතා කරල බලන කොට සමාන අදහස්. මොකක්ද අදහස? මේකෙ කිසි ගතයුත්තක් නෑ. සාරයක් නෑ. නිස්සාර දෙයක්, මෙතන මේ නටන, වයන, ගයන, අය අවුරුදු 100 ක් යන්න කලින් මරණයට පත් වෙනවා. මීට වැඩිය අපිට වටිනවා මේ සංසාරයෙන් මිදීමේ විමුක්ති මාර්ගය සොයාගෙන යාම කියල දෙන්නම එකමතිකව ඊළඟට සාකච්ඡා කළා. දන් අපි විමුක්තිය බලාපොරොත්තු වෙනවා නම් පැවිද්දක් ලබා ගන්න ඕන. කා ළඟද පැවිද්ද ලබා ගන්නේ? කියල රජගහ නුවර ඒ කාලේ ප්‍රසිද්ධව සිටියෙ සංජය කියල පරිබ්‍රාජකයෙක්, විශාල පිරිසක් ඇතිව. තීරණය කළා එතෙනට ගිහිල්ල පැවිදි වෙන්න ඕන කියල. තමන්ගේ රථවාහන ආදී විශේෂ පරිවාර සම්පත් ආපසු යවල 500 ක් දෙනා එක්ක සංජය පරිබ්‍රාජකයා ළහ පැවිද්ද ලබා ගත්තා. එහෙම ලබාගෙන මේ ඉතාමත් තියුණු ප්‍රඥාව ඇති අය නිසා ටික දවසකින්ම සංජය පරිබ්‍රාජකය දනගෙන සිටිය ඒ ඔක්කොම, ඒ ඉගැන්වූ හැම දෙයක්ම, ඉගෙනගෙන ආචාර්යයන් වහන්සේගෙන් ඇහුවා “ඔබ තුමා මීටත් වඩා යමක් දන්නවද?” කියල. “නෑ මෙච්චර තමයි මම දන්නේ. මීට එහාට යමක් මට කියන්න පුළුවන් කමක් නෑ.” කියල කිව්වහම, එහෙම නම් මෙතන ඉදීම නිස්සාරයි. අපි සත්‍යය සොයන්න ඕන, තනි තනිව කියල මේ දෙදෙනා කතිකා කර ගත්තා අපි දෙන්නාගෙන් යම් කෙනෙක් විමුක්ති මාර්ගය, එහෙම නැත්නම් නිවන, ලබා ගත්තා නම් අතිත් එක්කෙනාට කියන්න ඕන කියල. ඒ ඒ තැන්වලට ගිහිල්ල ආචාර්යවරුන් හමුවෙලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ එක ආචාර්යවරයකුටවත් මේ දෙදෙනාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනා. ඒ අයගේ ප්‍රශ්න වලට මේ දෙන්නා උත්තර දෙන්න සමත් උනා. ඔහොම කලක් යන අතරේ - ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමය පිළිඅරගෙන රජගහ නුවර වැඩ වාසය කරන අවස්ථාවක්. අර පස්වග මහණුන් වහන්සේලා අතුරින් අස්සජී ස්වාමීන් වහන්සේ එක දවසක් දා පිණ්ඩපාතෙ වඩිනවා. එදා මේ උපතිස්ස කියන පරිබ්‍රාජකයා - මේ අපි දැන් සැරියුත් ස්වාමීන් වහන්සේ නමින් හඳුන්වන ඒ උපතිස්ස පරිබ්‍රාජකයා - තමන්ගේ ගෙදර ඉදලා ආහාර පාන අරගෙන ඉවරවෙලා පරිබ්‍රාජකාරාමයට යන්න පිටත් වුනු ගමන් මේ ස්වාමීන් වහන්සේ දකලා, “මම මේ වගේ කෙනෙක් කවදාවත් දකලා නෑ. මේ වගේ ශාන්ත ඉන්ද්‍රිය ඇති, බොහොම තැන්පත් ඉරියව් ඇති මේ වගේ කෙනෙක් දැකල නෑ. එක්කො රහතන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් අරහත් මාර්ගයට ඇතුල් වුන කෙනෙක් වෙන්න ඕන. මේ වෙලාවේ එක පාරටම කථා කරන්න හොද නැහැ පිණ්ඩපාතේ වඩින නිසා” කියලා පිටි පස්සෙන් ගිහිල්ල, ඒ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතයෙ වැඩලා අවසානයේ වළදන්න සුදානම් වෙනකොට ඒකට නිසි ආසනයක් එහෙම සකස් කරලා දීලා තමන්ගේ පැන කෙණ්ඩියෙන් පැන එහෙම දීලා වතාවත් කරලා, හැම උපස්ථානයක්ම කරල ඉවර වෙලා වළදලා ඉවර උනාට පස්සේ ස්වාමීන් වහන්සේ ගෙන් අහනවා “ඈවත්නි ඔබේ ආචාර්යවරයා කවුද? මොකක්ද ඔබ අනුගමනය කරන ධර්මය? ඔබේ ඉරියව් එහෙම බොහොම ප්‍රසන්නයි. ඔබේ වර්ණය, සමේ පැහැය, ඉතාමත් ප්‍රභාවත්” කියලා ඊළඟට ඉල්ලා සිටිය “මට ඒ ධර්මය කියන්න” කියලා. එතකොට අස්සජී ස්වාමීන් වහන්සේත් ඉතාමත්ම නිහතමානීව ප්‍රකාශ කරනවා. “මම මේ නවක පැවිද්දෙක්, අලුතෙන් පැවිදි උන කෙනෙක්. මට දිග බණක් කියන්න, විස්තර සහිතව බණ කියන්න බෑ.” එතකොට උපතිස්ස පරිබ්‍රාජකයා කියනවා, “මගේ නම උපතිස්ස. මට ටිකක් කිව්වත් ඇති. වැඩිය වචන කියන්න ඕනෙ නෑ. මට ඕනේ අර්ථය විතරයි. මූලික හරය විතරයි. ඒ ටික කිව්වොත් මම තේරුම් ගන්නවා.” කියලා ඒ විදියට පැවරුවා. අන්න ඒ අවස්ථාවේ දී අස්සජී ස්වාමීන් වහන්සේ දේශනා කළ ගාථාව ඉතාමත්ම සාරවත් ගාථාවක් - පටිච්චසමුප්පාද ධර්මයේ සම්පූර්ණ හරය, මූලික ධර්ම න්‍යායය ඉදිරිපත් කෙරෙන විදියෙ වටිනා ගාථාවක්. යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ තෙසංච යො නිරෝධො - එවං වාදි මහා සමණො ‘හේතුන්ගෙන් හටගත් යම් ධර්මයෝ වෙද්ද, ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවායේ නිරුද්ධ වීම - නැති වී යාම ද - ප්‍රකාශ කළා. මෙන්න මේ විදියේ ධර්මයකුයි ඒ මහා ශ්‍රමණයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ’ කියන එකයි ඒ ගාථාවේ අදහස.   මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත්, ඒ උපතිස්ස පරිබ්‍රාජකයාගේ පුණ්‍ය ශක්තිය, නුවණ කොයි තරම් තියුණුද කියතොත්, මුල් ගාථා පද දෙක අහලම සෝවාන් එලයට පැමිණියා. යම් ධර්ම හේතුවෙන් හට ගත්ත ද ඒවායේ හේතුව තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා කියලා කියනව අහනවත් එක්කම සෝවාන් වෙලා ඉවරයි. ඉතිං ඊළඟට ගාථාව සම්පූර්ණ උනාට පස්සේ උපතිස්ස පරිබ්‍රාජකයා ස්වාමීන් වහන්සේගෙන් අහනවා “කොතනද ඒ අපේ ශාස්තෘන් වහන්සේ වැඩ වාසය කරන්නේ” කියලා. වේළුවනාරාමයෙයි කිව්වාම ඒ යන පාර අහගෙන, “මට තවත් වැඩක් තියෙනවා. මගේ යාළුවෙක් ඉන්නවා, එයත් එක්ක පොරොන්දු වෙලා තියෙනවා මෙන්න මෙහෙම සත්‍යය, අමෘතය, සොයා ගත්තොත් නිවන සොයා ගත්තොත් කියනවා කියල. ඒ පොරොන්තුව ඉෂ්ට කරලා මම එන්නම්. ඔබ වහන්සේ කලින් වඩින්න” කියලා අස්සජී ස්වාමීන් වහන්සේ යවල ඊළඟට මේ උපතිස්ස පරිබ්‍රාජකයා ගියා අර පරිබ්‍රාජකාරාම දිහාවට. යනකොට ඇතදීම දක්කා. ඒ කෝලිත යාළුවා දකලා ’අද මගේ යාළුවාගේ වෙනදා ස්වරූපය නොවෙයි බොහොම ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. සතුටින් ඉන්නේ. එකත් එකටම නිවන ලබාගෙන වෙන්න ඇති’යි කියලා ඔන්න විස්තරේ අහුවාම උපතිස්ස පරිබ්‍රාජකය අර ගාථාව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළා, මේ විස්තරෙත් කියලා “මට මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් හමුවුනා” කියලා. ඒ ගාථාව සම්පූර්ණ වෙනවාත් එක්කම කෝලිත පරිබ්‍රාජකයාත් සෝවාන් එලයෙ පිහිටියා. ඊළඟට මේ කෝලිත පරිබ්‍රාජකයා කියනවා “අපි දන් එහෙනම් යමු බුදුපියාණන් වහන්සේ හමුවෙන්න” කියලා. එතකොට උපතිස්ස පරිබ්‍රාජකය කවදත් ආචාර්යවරුන්ට ගරු කරන අයෙක් නිසා ටික කලකට නමුත් ඒ ආචාර්යව සිටිය සංජය පරිබ්‍රාජකයා ගැන හිතලා, කල්පනා කරලා, කියනවා “අපි අපේ ආචාර්යවරයාණන් වහන්සේටත් ගිහිං කියමු මේ අලුත් ප්‍රවෘත්තිය. එක්කො මේ ගාථාව කියනකොටම යම් ධර්මයක් තේරුම් ගනියි. එහෙම බැරි වුනොත් බුදුපියාණන් වහන්සේ දකින්න හෝ යාවී.” කියලා ගියා අර ආචාර්යවරයා හොයාගෙන. සංජය පරිබ්‍රාජකයාත් මේ දෙන්නා දකලා “කොහොමද දරුවෙනි සත්‍යය සොයා ගත්තාද?” කියලා ඇහුවා. ඔන්න ඒ ප්‍රවෘත්තිය කිව්වහම කෙසේ නමුත් ශ්‍රද්ධාවක් වැඩිය පෙන්නුවේ නැහැ. ඒවා ඔක්කොම කිව්වට පස්සේ කියනවා. ‘එහෙනම් ඔය දෙන්නා යන්න. මට නම් යන්න හැටියක් නැහැ.’ ‘මොකද?’ කියලා ඇහුවහම කියනවා “මම මෙච්චර කාලයක් ආචාර්යවරයෙක් වෙලා ඉදලා දන් මට නම් බැහැ අතවැසියෙක්, ගෝලයෙක්, වෙන්න. ඒක හරියට උපමාවට කියනවා නම්, ‘කලින් හැලියක් වෙලා ඉඳලා පස්සෙ කෙණෙස්සක්, හැන්දක්, වුනා වගෙයි.’ මේ පින්වතුන් දන්නව නේ හැලිය අනිත් අයට වතුර දෙන්නේ. හැන්දකින්, කෙණෙස්සකින්, ඒකෙන් ගන්නව. අන්න ඒ උපමාවයි කිව්වේ. මම ඉස්සරවෙලා හැලියක් වගේ ඉඳලා දැන් කොහොමද කෙණෙස්සක් වගේ, හැන්දක් වගේ, වෙන්නේ?” ඒක මට මදිකමක් කියල යන්න බෑහැ කිව්ව. නැවතත් ඊළඟට ඇවිටිලි කරන කොට ඒ දෙන්නා - “එහෙම කියන්න එපා, ආචාර්යයෙනි, මේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්, බුදු කෙනෙක් දන් ලෝකේ ඉපදිල ඉන්නවා. පහළ වෙලා ඉන්නවා. ධර්මය පහළ වෙලා තිබෙනවා. සංඝයා පහළ වෙලා තියෙනවා. මේ හොඳ අවස්ථාවක්” කියල උනන්දු කරනකොට නැවත අහනවා. “දරුවෙනි, මේ ලෝකේ වැඩියෙන් ඉන්නේ මෝඩයෝ ද, පණ්ඩිතයෝ ද?” කියල. ඉතින් උපතිස්ස කෝලිත දෙදෙනා කිව්වා “මෝඩයෝ තමයි වැඩියෙන් ඉන්නේ” කියල. “හා, එහෙනම් කමක් නෑ. මෝඩයෝ මෝඩ මා ළහට ඒවි. පණ්ඩිතයෝ ඒ පණ්ඩිත ශ්‍රමණ ගෞතමයාණන් ළහට යාවී” කියලා ප්‍රතික්ෂේප කළා. එහෙම කිව්වට පස්සේ ඉතින් මේ දෙන්නා පිටත් වෙනවත් එක්කම අර සංජය පරිබ්‍රාජකයාගේ පිරිසේ විශාල කොටසක්ම මේ දෙන්නාත් එක්ක යන්න පිටත් වුනා. ඒක දැකල අර සංජය පරිබ්‍රාජකයා, ඇතිවුන ශෝකය නිසා, කටින් ලේ පිට දම්මා කියල සඳහන් වෙනවා. ඒ තරම් ලොකු ශෝකයක් ඇති වුනා කියල. ඉතින් ඔන්න ඔය ප්‍රවෘත්තියයි අපි සඳහන් කළේ. නමුත් මේ ඔක්කොම ප්‍රවෘත්තිය සැරියුත් මුගලන් දෙනම අර අවස්ථාවේදී සංසයා වහන්සේලා ඉදිරිපිට බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළා. අපි මේ තරම් උත්සාහ කළත් අර අපේ ආචාර්ය සංජය පරිබ්‍රාජකයා ආවේ නැතෙයි කියන එකයි අවසාන වශයෙන් කිව්වේ. ඒක කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනව, “එහෙම තමයි ලෝකෙ ස්වභාවය. ඒ සංජය තමාගේ මිථ්‍යා දෘෂ්ටිය නිසා, වැරදි අදහස් නිසා, නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් සැළකුව. ඔය දෙනම තමන්ගේ පණ්ඩිතකම, නුවණැතිකම, නිසා නියම හරය තේරුම් අරගෙන හරය ලබා ගත්ත”යි කියලා ප්‍රශංසා කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථා දෙක වදාළා. ’අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්පගොචරා’ අසාර දෙයෙහි, නිසරු දෙයෙහි, සරුයයි කියා හඟින්නා වූ, සරුය කියන මතය ඇත්තා වූ, ඒ වගේම සරු දෙය පිලිබඳව නිසරුය යන හැඟීම ගත්තා වූ ද, අන්න එබඳු අය වැරදි සංකල්පනාවලට වැරදි අදහස්වලට යටවෙලා, ඒවායේ යෙදිල, ඒවා ඔස්සේ ඒ අය කවදාවත් හරවත් දෙයට, නියම සාරයට, පැමිණෙන්නේ නැත කියල ඒ විදියට එක පැත්තක් ප්‍රකාශ කරල, ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනව. ’සාරඤ්ච සාරතො ඤත්වා - අසාරඤ්ච අසාරතො තෙ සාරං අධිගච්ඡන්ති - සම්මාසංකප්ප ගොචරා’ නමුත් යම් කෙනෙක් හරවත් දෙය, සරු දෙය, සරු හැටියට තේරුම් අරගෙන, අසාර දෙය, නිසරු දෙය, නිසරු හැටියට තේරුම් අරගත්තා නම් අන්න එබඳු අය සම්‍යක් සංකල්පනාවන් අනුව සිතුවිලි පවත්වමින් නියම හරවත් දෙයට, නියම හරයට පැමිණෙනවා කියන එකයි ඒ ගාථාවේ තේරුම. ඒතකොට මේ ඉතාමත්ම ගැඹුරු අදහස් ඇති වටිනා ගාථා දෙකක්. මේ කථාන්තරයෙනුත් ගාථා දෙකෙනුත් අපට මෙවැනි දවසක හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්, බුද්ධ ශාසනය පිළිබදව, අප අපගේ ජීවිත පිළිබදව. දැන් මෙතන මේ මුල් ගාථාව ගැන විශේෂයෙන් සළකලා බලනවා නම් හොදම නිර්ණය මේ අපි කියපු කථාන්තරයෙම අඩංගු වෙනවා. අර සංජය පරිබ්‍රාජකයාගේ චරිතය. ඒ චරිතය ප්‍රකාශ වෙනවා අර මුල් ගාථාවෙන්. මොකද ‘අසාරෙ සාරමතිනො’ - නිස්සාර වූ දෙය සරු හැටියට ගත්තා. ඊළඟට හරවත් දෙය සරු දෙය, නිසරු හැටියට ගත්තා. ඉතින් ඒ නිසා විටිනා අවස්ථාවක් ගිලිහිලා ගියා. බුදු පියාණන් වහන්සේ දකින්න ශක්තිය තිබුනෙ නැහැ කියන එකයි එතන කියන්නේ. මිථ්‍යා සංකල්පනා වලට ගොදුරු වීම නිසා. ඉතින් මෙතන තව සවිස්තරව කියනවා නම්, මේ ගාථාවේ අර්ථයත් එක්ක, මෙතන මේ නිසරු දේ කියල ගන්න තියෙන්නේ - ‘අසාරෙ සාර මතිනො’ කියන තැන නිසරු හැටියට ගන්න තියෙන්නේ - අපට පේනවා මේ කථාන්තරයෙනුත් අර සංජය පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේ ළහට යන්න මැලි උනේ මොකද කියල හිතන කොට ඒ නිසරු දේ මොනවද කියල. පිරිස් බලයක් තිබුන, ලාභ සත්කාර තිබුණ, කීර්ති ප්‍රශංසා තිබුන. ඔන්න ඔය දේවල් තමයි මේ සංජය පරිබ්‍රාජකයා ලොකුවට ගත්තේ. ඒවා ඔක්කොම නිසරු දේවල්. ඉතිං ඒ නිසරු දේ සරු දේ හැටියට ගත්ත. අර විශාල පිරිසක් - මෝඩයින් නමුත් විශාල පිරිසක් - තමන්ට ඉන්නවා. මහ පිරිස් බලයක් තිබෙනවා. ඒ වගේම අර මාන්නය නිසා හිතුව, “ආචාර්යවරයෙක් මම, මට බැහැ දන් ගෝලයෙක් වෙන්න” කියලා. අන්න ඒවා මෝඩ කල්පනා. ඒ අනුව මිථ්‍යා සංකල්ප කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාග්‍යය අනුව කියනවා නම්, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියල මේ පින්වතුන් කොතෙකුත් කියවලා ඇතිනේ. කාමාශාවන් පිළිබද හැඟීම්, ඊළඟට ද්වේෂය පිළිබද හැඟීම්, හිංසා කිරීමේ හැඟීම්. ඉතින් ඔය විදියෙ කල්පනාවලට යට උනාට පස්සේ දිගටම ඒ පැත්තටමයි ඇදිලා යන්නේ. එතකොට අන්න ඒ දෘෂ්ටියයි. ඒ දර්ශනයයි. ඒ ආකල්පයයි, මුල් ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ. අර සංජය ඒකට හොද නිදර්ශනයක්. ඉතිං අපට ඒ අනුව හිතනව නම් ඇත්ත වශයෙන්ම ඒ කාලයෙ පමණක් නොවෙයි මේ කාලෙත් ඒ කාරණය සතයයි. ලෝකයේ බහුතර කොටස අර කියාපු විදියේ කට්ටිය තමයි. ඒ වගේම බොහෝ දෙනා මිථ්‍යා දෘෂ්ටියට පහසුවෙන් ඇදිලා යනවා. මිස දිටුවලට ඉතාමත් පහසුවෙන් ඇදිල යනවා. අර නිසරු කියලා කියන්නේ කොටින්ම මිසදිටු පැත්තට ගැනෙන දේවල්. ඇත්ත වශයෙන්ම මිථ්‍යා දෘෂ්ටිය කියල කිව්වට, දන් සම්පූර්ණයෙන්ම අසත්‍ය දේවල් වලටත් වඩා සමහර විට භයානක හැටියට පේනවා අර්ධ සත්‍ය කියන ජාතිය. “අර්ධ සත්‍ය” කියල කියන්නේ පින්වතුනි, ඔය අඩාල සත්‍ය, බැලු බැල්මට සත්‍ය වගෙයි පේන්නේ. නමුත් ඇතුළෙ බලනකොට ඒක තියෙන්නේ හිස් දේවල්, බොරු බොල් දේවල්. ඒවායේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ අර්ධ සත්‍ය කියන එකට පැරණි වචනයක් තියෙනවා, මේ ශාසනයේ යෙදිලා - “මුග්ග සුප්පතා” කියලා. ‘මුග්ග සුප්ප’ කියලා කියන්නේ මුං ඇට සුප්. මුං ඇට සුප් වගේ කියන එකයි. මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්, දන් ඔය මුං ඇට හොද්දක් එක්ක බත් කනකොට ඉදහිටලා ‘යක්-ඇට’ කැවෙනවා. වැඩිපුර තියෙන්නේ සමහර විට යක් ඇට. අන්න ඒ වගෙයි. ඒ කියන්නේ බාගෙටයි තැම්බිලා තියෙන්නේ. ඒ වගේ තමයි අර අර්ධ සත්‍ය කියන ජාතියත්. ඉතිං ඒ කාලේ වගේම මේ කාලෙත් මුං ඇට සුප් බොහොම ජනප්‍රියයි. විශාල පිරිසක් ඇදිලා යනවා මුං ඇට සුප් වලට. සමාජය දිහා බැලුවහම පෙනේවි මේ පින්වතුන්ට. ඔන්න ඔය විදියයි සමාජ තත්ත්වය. ඊළඟට මිථ්‍යා දෘෂ්ටිය ගැන හිතල බලනකොට, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ ලෝකේ තියෙන තරම් වැරදිවලින් ඉහළම, ලොකුම, වැරද්ද තමයි - ‘පරම වඡ්‍ජ’ කියල කියනවා - ලොකුම වැරද්ද තමයි මිථ්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මොකද ඒ? හේතු සහිතවයි කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් “ඇයි අපට හිතන්න නිදහස තියෙනවා නේ. අපි අපට ඕන දෘෂ්ටියක් ගත්තට අනික් අයට මොකද?” කියල ඔය විදියට අහන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ ජීවිතයේ පරිහානියට මුල්ම හේතුව තමයි මිථ්‍යා දෘෂ්ටිය. ඒකට හොද නිදර්ශනයකුත් - හොද උපමාවකුත් - එක්කයි බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලාට මිථ්‍යාදෘෂ්ටියේ භයානකත්වය පෙන්නුම් කළේ. ඉස්සෙල්ල කාරණය ප්‍රකාශ කරනවා. “මහණෙනි මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයාගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ඒ හැම එකක්ම ඒ තමා ගත්තු මිථ්‍යා දෘෂ්ටිය අනුවම යනවාය. ඒ තැනැත්තා යම් චේතනාවක් ඇති කර ගන්නවා නම්, ප්‍රාර්ථනාවක් ඇති කර ගන්නවා නම්, ඉලක්කයක් ඇතිකර ගන්නවා නම්, යම් ක්‍රියාකාරකම්, ක්‍රියාකාරීත්වයක්, පවත්වනවා නම්, ඒ හැම එකක්ම අර මිථ්‍යා දෘෂ්ටිය අනුවම යනවාය. ඊළඟට ඒවායේ විපාක පක්ෂය, ආදීනව පක්ෂය, මොකක්ද? ඒ නිසා බරපතල අකුසල් විපාක විඳින්න, දුක් ගැහැට විදින්න වෙනවා. අප්‍රිය අමනාප විපාක විදින්න වෙනවයි කියල. ඊළඟට ඔන්න උපමාවට එනවා. ’යම් සේ මහණෙනි, කොහොඹ ඇටයක් හෝ කරවිල ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත් පොළොවක පැල කළහම ඒ ඇටයට අද ගන්නා සියලුම පෘථිවි රසයත්, දිය සිරාවත් තිත්ත එලයක්ම ලබා දෙන්න ක්‍රියා කරනවයි. තිත්ත එලයක්ම ලබා දෙනවය. අන්න ඒ වගේ මිථ්‍යා දෘෂ්ටිය ගත්තු කෙනාගේ මුළු ක්‍රියා කලාපයම නරක ප්‍රතිඵල, අනිසි ප්‍රතිඵල, අප්‍රිය අමනාප ප්‍රතිඵල කරා අරගෙන යනවය. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. “ඒ වගේම මහණෙනි සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාගේ කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම ඔක්කොම ඒ සම්‍යක් දෘෂ්ටිය අනුව පෝෂණය වෙනවය. ඒ වගේම ඔහුගේ චේතනාවල්, ප්‍රාර්ථනාවල්, බලාපොරොත්තු, ඉලක්ක, ක්‍රියාකාරකම්, හැම එකක්ම ඒ සම්‍යක් දෘෂ්ටියට අනුව සකස් වෙලා අවසානයේ හොද විපාක ලබා දෙනවයි, හොද ආනිසංස ලබා දෙනවයි කියල ඒකට දක්වන උපමාව මේ අනුව හිතා ගන්න පුළුවන්.”මහණෙනි යම් සේ මිදි ඇටයක්, ඇල් වී ඇටයක්, උක් බීජයක් වැනි දෙයක් තෙත් පොළොවක පැල කරහම ඒකට අද ගත්ත පෘථිවි රසය, දියසිරාව, හැම එකක්ම රසවත් එලයක් ලබා දෙනවය. අන්න ඒ වගේ තමයි සම්‍යක් දෘෂ්ටිය” කියල ඔය දෙකේ වෙනස පෙන්නුම් කර වදාළා. ඉතින් ඔය අනුව අපට හිතාගන්න පුළුවන් දන් ලෝකයේ බහුතර සංඛ්‍යාව අර කියාපු විදියට මුං ඇට හොදි ඔස්සේ, එහෙම නැත්නම් අර මිථ්‍යා දෘෂ්ටි ඔස්සේ ඇදිල යන, ඒ පැත්තට ඇදිල යන අය. ඊළඟට දැන් දෙවෙනි ගාථාව. හොදම නිදර්ශනය මේකට. - අමුතුවෙන් මතක් නොකළත් මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන් - අර සැරියුත් මුගලන් දෙනමගේ ජීවිතය. උන් වහන්සේලාගේ ජීවිතය ඒක අපට පෙන්නුම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියන කොට අපි හැම දෙනෙක්ම කල්පනා කරන්ට ඕන බුදු පියාණන් වහන්සේ ළහට අපට ආදර්ශ ගන්න තියෙන්නේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේලාගෙන්ය කියලා. ඇත්ත වශයෙන්ම ආදර්ශවත් ඒ අතීත බලන කොට, මොකද නිසරු දේ ඉවත් කරලා නිහතමානීව සරු දේ පිළිගන්නා තරම් ශක්තියක් තිබුන උන්වහන්සේලාට. ගිහි කාලයේදී පවා ඒක දැන් අවස්ථා කීපයකදීම අපට පෙන්නුම් කෙරෙනවා. පළමුවෙනි අවස්ථාව දැන් මේ කථාන්තරයෙන්ම කියවුනා. අර තරුණ වයසේ කවුරු කවුරුත් යන විනෝදවෙන අවස්ථාවල් තමයි ඔය විවිධ ප්‍රසංග, සංගීත රාත්‍රී ආදිය. නමුත් සාංසාරික බුද්ධිය මුහුකුරා ගියාට පස්සේ ඒවා එපාවෙන අවස්ථාවකුත් එනවා. අපි කලින් ධර්ම දේශනාවලින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ මුළු මහත් ලෝකයම පාසලක් හැටියට ගත්තොත් මේකේ ශ්‍රේණි 3ක් තිබෙනවා. අස්සාද, ආදීනව, නිස්සරණ, කියලා. වැඩි වශයෙන් ලෝකයා සිටින්නේ ආස්වාද පක්ෂයෙයි. පංචකාම සම්පත්තිය ඔස්සේ දූවන පිරිසයි වැඩි. ඊළඟට යම්කිසි අවස්ථාවක බුද්ධිය මුහුකුරා යාමෙන්, අත්දකීම් තුළින්, ආදීනව, ඒවායේ තියෙන දෝෂ පැත්තක්, පෙනෙන්න පටන් ගන්නවා. එහෙම පෙනුනට පස්සේ ඊළඟට නිස්සරණ කියන පංතියට පාස් වෙනවා නෙක්ඛම්මයෙන්, පැවිදි වීමෙන්. ඉතින් මෙතනත් අර ඒ බුද්ධිය මුහුකුරා ගියාට පස්සේ අර ඉස්සර සරුය කියලා හිතපු දේ නිසරු හැටියට පෙනුන මේ දෙන්නටම. වෙනදා වගේ හිනාවක් නෑ. සතුටක් නෑ. බුම්මාගෙන වගේ ඉන්නවා කලකිරිලා. අතීත අය ඔක්කොම නටලා විනෝද උනාට මොකද මේ දෙන්නට ඥානය මුහුකුරා ගිය නිසා මේක නිස්සාර හැටියට පෙනුන. ඒ වගේම ඊළඟට ගත්තු පියවර ඒ සියලු සම්පත් අතහැරල පැවිද්දට ගියා. ඒ පැවිදි උනෙත් නිසි තැන නොවෙයි. අර කියාපු සංජය කියන ඒ පරිබ්‍රාජකයා ළහයි. ඉතින් එතනදිත් ‘මේ මගේ ගුරුවරය’ කියලා එතනවත් ලැගලා හිටියේ නෑ. එතන ඒ ඒ දේ ඉගෙනගෙන ඉවර උනාට පස්සේ තේරුණා මෙතන හරයක් නෑ කියලා. ඒකත් අතුරිය. ඊළඟට සත්‍යය සොයන්න පටන් ගත්තා. එහෙම සොයාගෙන ගිහිල්ලා ඔන්න ඉතින් අපට හොදම නිදර්ශනය, නියම සාරවත් දේට ඇදෙන ගතිය, අපට පෙනෙන අවස්ථාව තමයි, අස්සජී ස්වාමීන් වහන්සේ හමුවෙලා අර විදියට ආරාධනා කිරීම. “මට වැඩි වචන එපා. නියම හරය කියන්න” කියලා කිව්වහම අස්සජී ස්වාමීන් වහන්සේ අර තරම් වටිනා, සරල හැටියට පෙනෙන නමුත් මුළ මහත් සද්ධර්මයේම අර්ථ සාරය, එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය කියන ගැඹුරු ධර්මයේ සාරය, පෙන්නුම් කරන විදියේ ගාථාවක් වදාළ. ඒ ගාථාවේ මුල් පද දෙකකෙන්ම සත්‍යය අවබෝධ කර ගත්ත, ආර්ය සත්‍යය අවබෝධ කර ගත්ත උපතිස්ස පරිබ්‍රාජකයා - ඊළඟට කෝලිත පරිබ්‍රාජකයත් ඒ ගාථාවම අහල. එතනත් අපට තේරෙනවා ඒ ගාථාව ගැන දීර්ඝ විග්‍රහයක් නොකළත්, කෙටියෙන් කියතොත් මේ පින්වත් වැඩිහිටි අය දන්නවා ඇති ඔය පටිච්ච සමුප්පාදය කියලා ධර්මයක් තිබෙනවා. ඔය බොහෝ දෙනා සිල් ගත්තම ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං’ කියලා අංග 12ක් ඔහොම කිය කියා ඉන්නවා. නමුත් පින්වතුනි. මේක නෙවෙයි පටිච්ච සමුප්පාදයේ හරය. නියම හරය තමයි අන්න අර ගාථාවේ කියන එක. මොකක්ද? ‘යම් ධර්මයන් හේතුන්ගෙන් හට ගත්තා නම් ඒවායේ හට ගැනීමත් බුදුපියාණන් වහන්සේ දක්වූවා. ඒවායේ නිරුද්ධ වීමත් දක්වූවා.’ එතන දක්වන මූලික ධම් න්‍යායය - අපි කෙටියෙන් දක්වුවොත් - ඒක වෙනත් තැන්වල සඳහන් වෙනවා ධර්මයේ : ’ඉමස්මිං සති ඉදං - හොති ඉමස්සුප්පාදා ඉදං - උපප්ජ්ජති ඉමස්මිං අසති ඉදං න - හොති ඉමස්ස නිරෝධා ඉදං - නිරුජ්ජති’ කියලා. මෙය ඇති කල්හි, මෙය - වෙයි මෙහි හටගැනීමෙන්, මෙය හටගනියි මෙය නැති කල්හි, මෙය - නොවෙයි මෙය නැති වීමෙන්, මෙය - නැතිවෙයි ඒක අර මූලධර්මයක්, සිද්ධාන්තයක්. ඒක තුළ තිබෙනව මුළුමහත් පටිච්ච සමුප්පාද ධම්යේ සාරය. මේ ලෝකයා ආත්මයක් හැටියට හිතන, සදාකාලික, නිත්‍ය හැටියට සිතන දේවල් පිළිබදව බුදු පියාණන් වහන්සේලා මතු කරල දෙන පුදුම ධර්මතාව තමයි - ලෝකයේ කවදත් පවතින ධර්මතාව වැහිලයි තිබෙන්නේ මේ අවිද්‍යා අන්ධකාරය නිසා සත්වයාට ඒක - මේ හැම එකකම තිබෙන පුදුම විදියේ අර පටිච්ච සමුප්පාද කියල කියන එකිනෙක අතර ඇති හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව. ඒකයි මේ ගාථාවෙන් හෙළිවෙන්නෙ. ඉතින් ඒක නිසා අර උපතිස්ස පරිබ්‍රාජකයාගේ තියුණු නුවණට මුල්ම පද දෙක ඇහෙන කොටම සෝවාන් මාර්ග ඥානයෙන් සෝවාන් එලය ප්‍රත්‍යක්ෂ වුන. එතනත් අපට පෙනෙනවා අර හරවත් දේ පිළිබඳව. මෙන්න මේක තුළින් අපට පෙනෙනවා ලෝකයේ කොතරම් නිසරු දේ තිබුනත් ලෝකයා ඇදීයන, අපේ උත්සාහය විය යුත්තේ ක්‍රම ක්‍රමයෙන් අප තුළ දියුණුවක් ඇතිවෙන විදියට නිසරු දේ අතහැරලා සරු දේ ලබා ගැනීමයි. කොච්චර කාලයක් නිසරු දේ බදාගෙන හිටියත් වැඩක් නෑ. මේ පින්වතුන් ඔය සමාජයේ තියෙන කතාවක් අහලා ඇති හණමිටි සම්ප්‍රදාය කියලා. හණමිටි බදාගත්තු මිනිහ වගෙයි කියලා. එතනත් මහ දිග කථාන්තරයක් තියෙනවා. කෙටියෙන් සැළකුවොත් මෙහෙමයි. මේ පිරුළට යටින් තිබෙන කථාන්තරය ටිකක් හාස්‍යජනක එකක්. යාළුවෝ දෙන්නෙක් තමන්ගේ ගමින් පිටවුනා ධනය සොයාගෙන ගමින් ගමට යන්න. එහෙම යන අතරේ ඔන්න ඉස්සෙල්ලාම ගියෙ හණ පහසුවෙන් ලබා ගන්න පුළුවන්, විසි කරන්න තරම් හණ බහුලව තිබෙන ගමකට. ඉතින් මේ දෙන්නම හණ මිටි දෙකක් බැඳ ගත්තා. එහෙම බැඳගෙන ඔන්න ඊළඟ ගමට යනවා. යනකොට එතන හණ නුල් ඕන හැටියට ගන්න තියෙනවා. එතකොට අර එක යාළුවෙක් කියනවා අනික් යාළුවට දන් මේ හණ අරගෙන යන්නේ හණ නුල් සඳහා නේ. අපි මේ හණ ටික විසිකරලා හණ නුල් ටික අරගෙන යමු කියලා. අනික් යාළුවා කියනවා ’නෑ නෑ මම මේ හණ මිටිය හොඳට බැඳලයි තිබෙන්නෙ. මේක මට නම් බැහැ අහක දාන්න. ඔයාට ඕන දෙයක් කරගන්න” කියලා. ඉතින් එක යාළුවෙක් අර හණ නුල් ටික ගත්තා. අනික් එක්කෙනා අර පරණ හණ මිටියම අරගෙන ගියා. ඔන්න ඊළහ ගමට යනකොට එතන තියෙන්නේ හණ රෙදි. ඒතෙනදිත් අර විදියට ප්‍රකාශ කළා අර ඥානවන්ත යාළුවා. “දන් මේ හණ නුල් අරගෙත යන්නේ රෙදි සඳහා නේ. අපි මේ හණ රෙදි ටික ගනිමු. ඔය ටික විසි කරලා” කියලා “නෑ ඒකත් එපා. මං මේ අමාරුවෙන් බැඳගෙන ආපු එක මං ගෙනියනවා” කියලා අරන් ගියා. ඔහොම ඔහොම ගමින් ගමට ගියා. කෙටිකරලා කියනව නම්, ඊළඟ ගමේ කපුරෙදි තියෙනවා. ඊළඟ ගමේ යකඩ තියෙනවා. ඊළහ ගමේ පිත්තල තියෙනවා. ඊළහ ගමේ රිදී තියෙනවා. ඊළඟ ගමේ රත්තරං තියෙනවා, ඕන තරම් - විසි කරලා. ඉතින් මේ දෙන්නගෙන් අර නුවණැති යාළුවා අර කලින් තිබුන රිදී පොට්ටනිය අතහැරලා රත්තරං පොට්ටනියක් බැඳගත්තා. අර අනික් යාළුවා තාම හණ මිටියමයි. හණ මිටිය කරගහ ගත්තු එක එක අතහරින්න කැමති නෑ. ඉතින් මේ දෙන්න ඊළඟට තමන්ගේ ගමට ආපසු ගියා. ඒ ගියහම අන්න අර හණ මිටි කාරයගේ පවුලේ අය බොහොම තැවෙනවා, දුක් වෙනවා. මෙච්චර කාලයක් ඉදලා අරගෙන උස්සගෙන ආවේ මේකයි කියලා. අර රත්තරං මිටිය අරගෙන ගිය එක්කෙනාගේ ගෙදර ඔක්කොම දරුමල්ලෝ බොහොම ප්‍රීති වෙනවා, උදම් වෙනවා. ඔන්න ඔය උපමා කථාන්තරයයි තියෙන්නේ. අපි ඉතින් මේ පින්වතුන් කථාන්තරත් අහන නිසයි ඔය ටිකත් කිව්වේ. පිරුළ නම් සමාජයේ බහුලව තිබෙනවා. ඇතැම් කෙනෙකුට ඔය අර්ථයත් නොවැටහෙන්න පුළුවන් නිසා. නමුත් ඔවා දැනගෙන ඉන්න එක හොදයි. මොකද, මේ වැඩි දෙනෙක් ඔන්න ඔය පැත්තටයි යන්නේ. නිසරු දේ ලොකුවට අල්ලා ගන්නවා, ඒවායේ තියෙන තාවකාලික සහනය බලාගෙන. දන් අර සංජය පරිබ්‍රාජකයා අර විදියට මේ අර්ධ සත්‍ය සහිත දේවල් ඔස්සේ ගියෙ මොකද, ඒවාට වැඩි දෙනෙක් ඇදෙනවා. පිරිස් බලය - පිරිස එකතු කර ගන්න පුළුවන් නම්, ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් නම්, ඒක තමයි ක් ලොකු දේ කියලා ගත්ත. මේ සංසාරයෙන් මිදීම - විමුක්තිය - කියලා කියන ඒ උතුම්ම සාරය, මුළු මහත් ජීවිතයේ, පැවිද්දේ, එහෙම නැත්නම්, මේ නෙක්ඛම්මයේ, මූලික අදහස, ඒක ඉෂ්ට කර ගන්න පෙළඹුනේ නෑ. ඉතින් ඔය අනුව අපට හිතා ගන්න පුළුවන් මේ ශාසනයේ අනාගතය ගැන කල්පනා කරලා බැලුවත් මේ බුද්ධ ශාසනය රැක ගන්න නම් ශාසනයේ නියම හරය තේරුම් අරගෙන, ඒ හරය ඉස්මතු කරගෙන අපේ ජීවිත ගෙනයන්ට ඕන බව. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා ශාසන පරිහානියට හේතු වන එක කාරණයක් එක අවස්ථාවකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ නැති උනාට පස්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේම තමයි ශාසනය රැක ගන්න ඉතාමත්ම උනන්දූ උනේ. ඉතින් ඒකට හේතුවක් වශයෙනුත් වෙන්න පුළුවන්, එක අවස්ථාවක මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනව: “කාශ්‍යප, මේ සද්ධර්මය නැති වෙන්නෙ නෑ, සද්ධර්මය වගේ පෙනෙන ව්‍යාජ සද්ධර්මයක් ලෝකෙ ඇති වෙනතාක් - ‘සද්ධර්මය’ කියල ව්‍යාජ දෙයක්. ඊළඟට ඒකට උපමාව කියන්නේ - දැන් රත්රන් කියන කොට, අපි දන් නිතර පාවිච්චි කරන්නේ රත්රන් කියන වචනය. රත්රන් අමුරන් කියලා දෙකක් පරණ පොත් වල යෙදෙනව. රත්කරලා, පිළියෙල කරලා, සකස් කරලා ගත්තු එකට, රත්රන් කියලා කියන්නේ. අමුරන් කියන්නේ ඒකේ ප්‍රකෘති තත්වය. ඒකට කියනවා ජාත රූප කියලා. අන්න ඒ ප්‍රකෘති වශයෙන් තිබෙන ඒ රන් පවා ලෝකයේ අන්තර්ධාන වෙන්නේ - අතුරු දහන් වෙන්නේ - වෙන දේකින් නොවෙයි. ව්‍යාජ අමුරන් වර්ගයක් ඇති වීමෙනුයි. දන් මේ කාලේ වචනයෙන් කියනවා නම් ‘ඉමිටේෂන්’ – ඉමිටේෂන් විදියෙ එකක් ඇති උනාම තමයි අමු රන් ලෝකෙන් අතුරුදහන් වෙන්නේ. රැවටෙනවා මිනිස්සු මේක අමු රන් කියලා. ඔන්න ඔය විදියෙ දෙයක්ය සද්ධර්මයට වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට වෙන මිථ්‍යා දෘෂ්ටික ආගම්වලට නෙවෙයි, ඇත්ත වශයෙන්ම මේ ශාසනය - මේ ධර්මය - නැති කරන්න පුළුවන්. මේක ඇතුළතින්ම නැතිවෙන්න ඉඩ තියෙනවා. මොකද? ‘සද්ධර්ම ප්‍රතිරූපක’ කියල කියන්නේ සද්ධර්මය වගේ පේන ධර්ම. ඒකත් අන්න අර මුං ඇට සුප් වගේමයි. ඒවටත් බොහෝ දෙනා ඇදිල යන්න ඉඩ තිබෙනවා. ඒක ගැනත් කල්පනාකාරී වෙන්න ඕන මේ බෞද්ධ පින්වතුන්, අනාගතය ගැන හිතන කොට. සද්ධර්මයේ නියම හරය තේරුම් ගන්ට ඕන. මොකක්ද හරය? බුදු කෙනෙක් ලෝකෙ පහලවෙන්නේ මෙතෙක් ඒ කිසිම ශාස්තෘවරයකුට විසඳා ගන්ට බැරිව තිබුනු මේ සංසාර ගැටළුව විමුක්ති මාර්ගයෙන් විසඳුම් දීමටයි. මේ සංසාර විමුක්තිය මතුකර දීමටයි. කොටින්ම කියතොත් නිවනයි පරමාර්ථය සහ හරය. ඒක ධර්මයේ දක්වනවා, බුදු පියාණන් වහන්සේම එක අවස්ථාවක සල් ගහකට උපමා කරලා මහා සාරෝපම කියන සුත්‍රයේදී. දැන් සල් ගහක ඇතැම් කෙනෙක් කොළ අතු රිකිලි කඩාගෙන යනවා. ඒවා විටිනා දේ හැටියට. තවත් කෙනෙක් එලය. නමුත් කලාතුරකින් කෙනෙක් තමයි අර ඒකේ හරය - විටිනා දේ - ගන්නේ. ඒ වගේම මේ ශාසනයෙන් වටිනා නොවටිනා කියලා එහෙම හේදයක් තිබෙනවා. දන් කෙනෙක් පැවිදි උනා කියලා හිතමු. එහෙම නැත්නම් ඒ කටයුතුවලට යොමු උනා කියලා හිතමු. ඊළඟට ලාභ සත්කාර ගලාගෙන එනවා. ඒවා අර කොළ අතු වගෙයි. ඊළඟට පොතු පට්ටා වගෙයි, ඔය ශීලය කියන එක. ඒකත් ලොකු දෙයක් තමයි. අරිට වඩා හොදයි. නමුත් ඒකම නොවෙයි හරය. ඊටත් එහායිනුයි සමාධිය. ඒවා ඔක්කොම පාස් කරලා ගිහිල්ලා ඊළඟට තමයි ඒ අරහත් එලය, එහෙම නැත්නම් ඒ නිවන. මාර්ග එල අවබෝධයෙන් ලබා ගන්න ඒ විමුක්තිය. ඒකම තමයි, මේ ශාසනයේ සාරය, හරය. එතකොට යම් ධර්ම දේශනාවක් ඒ නිවන අමතක කරලා, නිවන පැත්තකට දාලා, තාවකාලික සහනයක් ලබා දෙන ලෞකික පරමාර්ථය කුළු ගන්වනව නම් - අතීතයේ ඒ ධර්ම දේශකයාණන් වහන්සේලා සියළුම ධර්ම දේශනාවන් නිවනින් කුළු ගන්වා ඉවර කළා. නමුත් දැන් බොහෝ විට ධර්ම දේශනා එයින් නොවෙයි සාමාන්‍ය සුලහ ලෞකික පරමාර්ථවලින් තමයි කෙළවර කරන්නේ. ඒකටත් බොහෝ දෙනා ප්‍රියයි. මොකද, මේ එදිනෙදා ජීවිතයේ තාවකාලික ගැටළු සංසිදවා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒ තාවකාලික සහනයකින් සැහීමකට පත් වීම අන්න අර කියාපු නිසරු දේ සරු හැටියට සැළකීමක් වගෙයි. මේ තරම් දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවය එහෙමපිටින්ම පිරිහෙළා ගැනීමක් වගෙයි. ඉතින් ඒ වගේම මේ ධම්දේශනාවලදීත් අපි කල්පනා කරන්නට ඕන, ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, මේ ප්‍රතිපත්ති මාර්ගයේ යෙදෙනවා නම් මාර්ගඵල අවබෝධයෙන් සංසාර විමුක්තිය ලබා ගන්න පුළුවන් බව. එක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා “භාග්‍යවතුන් වහන්ස ගිහිය ද පැවිද්ද ද මේ ශාසනයේ අර ලෝකෝත්තර තත්ත්ව ලබා ගන්නේ?” කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “ඒ ප්‍රශ්නය ඔහොම නොවෙයි. අහන්න තිබුනේ. ඒක බෙදලා ඇසිය යුතු ප්‍රශ්නයක්. මොකද, ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා. මේ ප්‍රතිපත්ති මාග්‍යයේ යනවා නම් මාර්ග ඵල අවබෝධය ලබන්න පුළුවන්” කියලා. ඒ විදියට පිළිතුරු දුන්නා. අන්න ඒ අනුව අපි කල්පනා කරන්ට ඕන, මේ ධර්ම දේශනාවකින් ගත යුතු සාරය ඇත්ත වශයෙන්ම මේතාක් දීර්ඝ කාලයක් සංසාරයේ ඒ ජීවිතවලින් නොලැබුන විදියේ සැනසීමක් ලබා ගැනීම බව. මොකද, ධර්ම කථාවලත් අපට දකින්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා, බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, කොටින්ම කියතොත් බෝධි සත්ත්වයන් වහන්සේ පවා අනන්ත කාලයක්, ගණන් කියන්න බැරි තරම් අවස්ථාවල තමන්ගේ පුණ්‍ය ශක්තිය නිසා, පාරමී ශක්තිය නිසා, චක්‍රවර්ති රජකම ලබා තිබෙනවා කියලා. මේ සක්විති රජ කෙනෙකුගේ සැප සම්පත් ගැන ඒ ඒ සූත්‍රවල සඳහන් වෙනවා - කියවන කොට මහ පුදුම හිතෙනවා. ඒ තරම් පංචකාම සම්පත්තියට අදාළව, ආයෙ කෙළවරක් ඉවරයක් නැති තරම් පුදුම විදියේ සැප සම්පත් ගොඩක් ඒවායේ කියවෙන්නෙ. නමුත් ඒවාත් නිස්සාර හැටියටයි ඒ සූත්‍ර දේශනා අවසාන වෙන්නේ. “මේ හැම එකක්ම - මේ සංස්කාර හැම එකක්ම - අනිත්‍යයි මහණෙනි. ඒ ඔක්කොම ඒ කියාපු ඒ චක්‍රවර්ති රජ්ජුරුවොත් නෑ. ඒ රජ්ජුරුවන්ගේ අනික් රටවලුත් නෑ. ඒ ඔක්කොම දන් විනාශයි. ඒ අනිත්‍යතාවට යටයි” කියලා ඒ විධියටයි. ඒවායේ නිස්සාරත්වය දක්වන්නයි බුදු පියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය වගේ දේවල් පවා විස්තර කරන්නේ. නමුත් පින්වතුනි දන් මේ කාලේ සාමාන්‍ය රටාව තමයි අන්න අර කියාපු චක්‍රවර්ති රාජ්‍යයට කිට්ටු කරන්නවත් බැරි තරම් සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ භෞතික දියුණුව ලොකුවට අරගෙන ඒක හරය හැටියට පෙන්නුම් කරලා, ඒකට විශාල පිරිසක් අද්දවන හැටියට, ධර්මය දේශනා කිරීම. ඒක අර සංජය ප්‍රතිපත්තිය වගේ දෙයක් වෙනවා. සද්ධර්මය ඉක්මණින්ම අන්තර්ධාන වෙනවා. ශාසනය ඉක්මණින්ම පරිහානියට පත් වෙනවා. ඉතින් අද වගේ දවසක අපි ඒ විදියේ දේවල් කල්පනා කර ගන්න ඕන - නුවණැති පින්වතුනි. මොකද දුවන්නත් වාලේ දුවන ගතිය කවදත් පිරිස් අතර තිබෙනවා. විශාල පිරිසක් උනහම එක් කෙනෙක් දුවනකොට අනිත් අයත් දුවල යනවා. හේතුවවත් දන්නේ නෑ. පස්සේ බලනකොට ගන්න දෙයක් නැහැ. හිස් දෙයක්. ඔක්කොම ආපහු හැරෙනවා. ඊළඟට බලනකොට ඔන්න තව තැනකට මිනිස්සු දුවනවා පෙනෙනවා. එතෙන්ටත් දුවනවා. දුවගෙන දුවගෙන ඔක්කොම යනව. ඔක්කොම සම්පත් වියදම් කරගෙන එතෙන්ටත් යනවා. ගිහිල්ලා බලනකොට එතනත් ගන්න දෙයක් නැහැ. ඔහොම මුළු ජීවිතයෙම එතෙන්ට මෙතෙන්ට දුවනවා, මිරිඟුවක් ඔස්සේ වගේ. ඉතින් මේ කියන කථාන්තර වලට නිදර්ශන මේ පින්වතුන් එදිනෙදා ජීවිතයේදී දකින්න ලැබෙන, අහන්න ලැබෙන, කියවන්න ලැබෙන දේවල් වලින් දැනගන්න පුළුවන්. අපි මේ සාමාන්‍ය වශයෙන් කියන ටික. මේ කොයි එකෙනුත් යමක් අපට තේරුම් ගන්ට ඕන. බුද්ධ ශාසනයේ හරය මතු කරගෙන එදිනෙදා ජීවිතයේ සැළකිය යුතු දුරක් යන්ට අපට හැකියාව තිබෙන බව හොදට විශ්වාස කරන්ට ඕන. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ඒවාට යෙදෙනවනම් ප්‍රතිඵල තමන්ට ලබා ගන්ට පුළුවන් අද පවා. නමුත් ඒක පහසුවෙන් ලැබෙන එකක් නොවෙයි. ඒක තේරුම් ගන්ට ඕන. හොද දේ, හරවත් දේ, පහසුවෙන් ලබා ගන්ට බෑ. තණකොල වගාව පහසුයි. ආදායම ටිකයි. ගොවිතැන අපහසුයි. බොහොම දුක් මහන්සි වෙලා කරන්නේ. නමුත් ආදායම හුහක් ලැබෙනවා. අන්න ඒ වගේ කල්පනා කරන්ට ඕනෑ තමන්ගේ චිත්ත සන්තානයට දාන්නේ මොනවාද? තණකොල වගේ වැඩක්ද? එහෙම නැත්නම් බොහොම මහන්සි වෙලා කරන ශීල සමාධි ප්‍රඥා කියන ගොවිතැනද? බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ඒකයි. ඒකත් ගොවිතැන වගේය කියලා ඒ විදියට උපමා කරලා තියෙනවා. ඉක්මණට ඉක්මණට මේ ශීලාදි ගුණධම් වඩන්න කියලා. අර ගොවියෙක් වහිනකොට ඉක්මණට ඉක්මණට ඒ ගොවිතැන් කරන්න වාගේ. මොකද එහෙම කියන්නේ? මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් සද්ධර්මයේම වටිනාම ‘අ’ යන්න වගේ වචනයක් හැටියට දක්වල තියෙන්නේ ‘අප්‍රමාද’ කියන වචනය. අප්‍රමාදව මේ විමුක්ති මාර්ගයේ ගමන් කරලා සංසාර විමුක්තිය සලසා ගන්න. මොකද, සංසාරය භයානකයි. සංසාරය භයානකයි. යටත් පිරිසෙයින් අර සෝවාන් ආදී මාර්ග ඵලයකින් නියත ගතික තත්ත්වයක් ලැබුවේ නැත්නම් මේ හොද ජීවිත ගත කරන පින්වතුන් සමහරවිට - කොයිවෙලාවේ ජීවිත නැතිවෙලා යයි ද කියලා අපිට කියන්න බෑ කොයි වෙලාවක හරි ජීවිතය නැති උනාට නම් - සමහර විට මේ හොදට හිටියට මොකද ඒ තමන්ට මෙතෙක් මනුෂ්‍ය ජීවිතය ලබා දුන්නු පුණ්‍ය ශක්තිය ගෙවිලා අතීත පාප කර්මයක් මතුවෙලා තිරිසන් ආත්මයක, ප්‍රේත ආත්මයක, යක්ෂ ආත්මයක, විදියේ තැනක උත්පත්තිය ලබන්න පුළුවන්. ඒ විදියේ භයානක තත්ත්වයක් සංසාරය පිළිබදව තිබෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ ලැබූ මනුෂ්‍ය ආත්ම භාවය - දෙවියන් පවා උසස් කොට සළකන මේ මනුෂ්‍ය ලෝකයේ, මනුෂ්‍ය ආත්ම භාවය - වටිනා දෙයක් හැටියට සළකලා එයින් ගතයුතු සම්පූර්ණ ප්‍රයෝජනය ගන්ට උත්සාහවන්ත වෙන්න කිව්වේ. ඉතින් මේ ධර්මයේ අන්න අර කියාපු භෞතික පරමාර්ථ පිළිබදව එක්තරා ප්‍රමාණයකින් දක්වෙනවා තමයි. දන් මේ පින්වතුන්ගෙන් ඇතුම් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඇයි අපේ මංගල සුත්‍රයේ එහෙම කියලා තියෙනවා නේද මඟුල් 38 ක්. මඟුල් 38 ක්ම කියලා තියෙනවා නේද? අර විදියට අඹු දරුවන්ට සළකන්න කියලා - ඒ හැම එකක්ම කියලා තියෙනවා නේද? නමුත් පින්වතුනි ඒ ඔක්කොම මඟුල් කෙළවර වන්නේ නිවන් මඟුලෙන්. තිස් අටවෙනි මඟුල නිර්වාණ මංගලයයි. එතකොට ඒක නිසා වෙන්නැති සමහර විට අර ‘පරම මංගල’ කියලා කියන්නෙ නිවන පිළිබදව දේශනා අගදි. ඇත්ත වශයෙන්ම ‘පරම මංගලය’ ඒක තමයි. අන්න ඒක නිසා කෙනෙකුගේ නුවණ දියුණු විය යුතු දෙයක් නම්, ඒතනම ලගින්නෙ නැතුව, හණ මිටි බදාගෙන ඉන්නෙ නැතුව, අර විදියේ මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න ඕන. ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය හිත කියන එක හිතා ගන්න බැරි තරම් මහ පුදුම ශක්තියක් තිබෙන හිතක්, මේ මුළ මහත් විශ්වයේම. ඒ බව දන් මේ පින්වතුන්ට පහසුවෙන් තේරේවි. දැන් ඔය විද්‍යාව කියලා ඒ විද්‍යාඥයින් හිත දියුණු කරල කරන හපන්කම් වලින්. නමුත් ඊට වඩා පුදුම හපන්කම් තමයි අර පාරමී ශක්තිය දියුණු කර ගත්තු බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා අතීතයේ කළේ. ඒව ටිකක් අමාරු නිසාදෝ, ඒ වගේම ඒවායේ ප්‍රතිඵලය සාමාන්‍ය ලෝකයාට ලොකුවට පේන්නේ නැති නිසාදෝ, ඒවා ගැන මනුෂ්‍යයින් උනන්දූ වෙන්නේ නෑ. නමුත් සංසාරයේ භයානකත්වය ගැන මෙනෙහි කරන්ට ඕන. එතකොට ධර්ම දේශනාවක් නම් අපි නිතර මකක් කරන්නට ඕන ඒකෙදි අන්න අර කියාපු අප්‍රමාද පදය. ඊළඟට සංවේග වස්තු කියලා තිබෙනවා. මේවාට උනන්දූ වෙන්ට උපකාර වන දේවල්, මේ සංසාරේ භයානකත්වය, ජීවිතයේ භයානක තත්වය, ජාති, ජරා, ව්‍යාධි, මරණ, ඊළඟට අපාය භය. ඔන්න ඔය විදියේ කාරණා නිතර මෙනෙහි කරන්ට ඕන. මරණ සතිය එහෙම. ඒවා මෙනෙහි කරනකොට තවත් උත්සාහය වැඩෙනවා. ඉතින් මෙවයි අපි මේ ධර්මයේ හරය හැටියට ගන්ට ඕන. ඒවා තුළින් අපි මේ ප්‍රමාදයට වැටෙන ගතිය, සසරට ඇදිල යන ගතිය, ලොකුවට ගන්න ගතිය එහෙම නැතුව, අර පැවැත්ම වෙනුවට නැවත්ම අරමුණු කරගන්නවා. මේ සංසාරයේ මෙතෙක් කාලයක් නිස්සාර දිවුමක් දුවලා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවලා තියෙනවා. දැන්වත් මේක කෙළවරක් කරගන්ට ඕන කියන ඒ අවබෝධය ඇතුව මෙන්න මේ ධර්මයේ අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා කියලා කියන බුදුපියාණන් වහන්සේ දක්වන අරටුවට ළඟා වන ප්‍රතිපදාවට එන්ට ඕන. නියම අරටුව නම් අර සියල්ලෙන්ම ඉවත් වන, පඤ්චස්කන්ධයෙන් මිදුන විමුක්ති තත්ත්වයයි. බුදු පියාණන් වහන්සේලා ඵල සමාපත්තියට සමවැදිලා අන්න ඒ කියාපු අර පරම මංගලය, ඒ අවස්ථාව, ඒකේ නියම ශක්තිය, අත්දකිනවා. ඉතින් ඊළඟට ඒක තුළින් ලැබෙන ලොකුම සහනය තමයි මේ සංසාරයෙන් අත්මිදීම. ඒ අවස්ථාව දක්වා යාමට නම් අර කියාපු ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ යන්ට ඕන. භාවනා වල යෙදෙන්ට ඕන. ඉතිං සාමාන්‍යයෙන් භාවනාව ගැන පවා ඇතුම් කෙනෙක් කල්පනා කරන්නේ මේක මේ තමන්ගේ කායික ආබාධ සුව කර ගන්න කරන, එහෙම නැත්නම් කරන්නන් වාලේ කරන එකක්. දැන් මේ කාලේ හැටියට නම් ඒක විලාසිතාවක්, මෝස්තරයක් බවට පත් වෙලා තියෙනවා. ‘අපිත් භාවනා කරනවා’ කියලා. නමුත් ඒක කරනවයි කියනවට කරන දෙයක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ නියම ආකාර සිතේ වැඩීමයි. ක්‍රමානුකූලව කළ යුත්තක්. සමථ වශයෙන් යම් කිසි සමාධියක් ඇති කරගෙන ඒක තුළින් ඊළඟට මේ ලෝකයේ ඇති අර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වන අන්දමට තමාගේ මනසිකාරය - විදර්ශනා මනසිකාරය - පැවැත්වීමයි. ඒ තුළින් එතකොට, ඒ හරය හඳුනාගන්න කොට, නිසරු දේ අතහැරෙන එක ස්වභාවයක්. ඉතින් එක වළක්වන්නත් බෑ. අපි දන්නවා දැන් ගහක් වැඩෙනකොට අර ඉදිච්ච කොළ, වේලිච්ච කොළ වැටෙනවා. උඩින් දලු එනකොට පහළින් කොළ වැටෙනවා. ඒක ඉතිං වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. අන්න ඒ වගේ මේ පින්වතුනුත් ධර්ම ඥානයෙන්, භාවනාවෙන්, දියුණු වෙනකොට කලින් අර උසස් හැටියට සලකපු දේවල් - අර සංගීත රාත්‍රී, විවිධ ප්‍රසංග, - ඒවා නිසරු දේවල් හැටියට, නිකම්ම ‘නාඩගම්’ හැටියට, පෙනෙන්ට පුළුවන්. නමුත් ඒක ගැන හිතන්න නරකයි. දැන් ඔහොම ඔහොම ගියොත් හෙම අපට මේ විනෝද මාර්ග නැති වෙනවා නේද? ආදායම් මාර්ග නැති වෙනවා නේද? ලෝකය ප්‍රීතිය නැති තැනක් වෙනවා නේද? කියලා. ඇතුම් කෙනෙක් සමහර විට ඔය විදියට තර්ක කරන්න පුළුවන්. අන්න ඒ අයට තමයි අපි අර ඇතැම් අවස්ථාවල කියන්නේ, ‘ලෝකවර්ධනලා’ කියලා. ‘න සියා ලෝකවඩ්ඪනො’ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ලෝකවර්ධනයෙක් වෙන්න එපා කියලා. එතකොට මේ මෙච්චර කාලයක් කළේ ලෝක වර්ධනයත්, සොහොන් වර්ධනයත්. දැන් කරන්න තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ මෙන්න මේ කියාපු ලෝකයෙන් මිදීමයි. මුළ මහත් සංසාරයෙන් මිදීමයි.   ඒ විමුක්තිය සලසා ගැනීමට ශක්තිය අප තුළ තිබෙනවා. පාරමී ශක්තියත් සමහර විට සැහවිලා තියෙන්න පුළුවන්. මිනිස් සිතක තිබෙනවා ඒවා මතු කර ගන්න පුළුවන්කම්, කුඩා දරුවකු තුළ පවා. අවුරුදු හතක කෙනෙකුට රහත් වෙන්න පුළුවන් කියලා කියන කොට මේ ශාසනයේ, කොයි තරම් මහ පුදුම ශක්තියක් පෙන්නුම් කෙරෙනවාද? මේ ශාසනයේ ඇති නෛයාණිකත්වය, ඒ වගේම අර අකාලික ගුණය කියලා කියන මේ මිහිපිටම මේ අවස්ථාවේදීම මේකේ ප්‍රතිඵලය නෙළා ගන්න පුළුවන් කියන එක නිතර මෙනෙහි කරන්ට ඕන. එතකොට ඒ ධර්මයේ අර සන්දිට්ඨීක, අකාලික, එහිපස්සික ආදී වශයෙන් දක්වලා තිබෙන ගුණ - ධර්මයේ ගුණ - මෙනෙහි කරන කොට තමන් තුළ මේ මාර්ගයේ යන්න වඩාත් උනන්දුවක් ඇති වෙනවා. මොකද, නිෂ්ඵල ගමනක් නෙවෙයි යන්නේ. යම් ප්‍රමාණයකට තමන්ගේ හිතේ මේ ධම්ය වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට එතන එතනම ප්‍රතිඵල තිබෙනවා. ඒ ආනිසංස තිබෙනවා. ඒ ආනිසංස නෙලනකොට තව තවත් උනන්දූ වෙනවා. මේ මාර්ගයේ යන්න - ආනිසංස දකිනකොට. ඒ වගේම අතීත පැත්ත තමයි අර සංවේග වස්තු ආදියෙන්, සමාජයේ කෙරෙන දේවල් වලින්, ඒ හැම එකකින්ම තමන් ලබා ගන්න ඕන මේ සංසාරයේ දුක් ස්වභාවය පිළිබදව නිදර්ශන. කොතෙකුත් ඒ දකින්න ලැබෙන දර්ශන – සමහර දේවල් සමාජයේ වහලයි තිබෙන්නේ. මාරයාගේ ඇටවීම් වගේ ඒක. මාරයාගේ උගුලක් වගේ. සමාජය ගැන කලකිරෙන දේවල්, ලෝකය ගැන සමාජය ගැන කලකිරෙන දේවල්, වහලා දාලයි තිබෙන්නේ. ඒවා දිහා බලන්නත් එපායි කියලා. ඒ විදියේ ආකල්පයක් ලෝකයේ තිබෙන්නේ, නමුත් බුදු පියාණන් වහන්සේ ඒවා මතු කරලා දෙනවා ඔය අසුභ භාවනා ආදී වශයෙන්. සමහර විට ඒවා අප්‍රිය වෙන්න පුළුවන් - ඒ බුදු පියාණන් වහන්සේ දක්වන දේවල්. ඇත්ත වශයෙන්ම අපි ඒවා සමහර වෙලාවට උපමා කරනවා නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩිය එක පාරටම හපුවාම තිත්ත තමයි. නමුත් ඒකේ රසයක් තිබෙනවා. අමෘත කියලා කියන්නේ ඒකයි. “ආමලක” - අමෘත. ඉතිං ඒවගේ මේ ධර්මයේත් තිබෙනවා අමිහිරි බවක් බැලූ බැල්මට. නමුත් ඒකේ යෙදෙන කොට - යෙදෙන්නාට - ඒකේ පුදුම රසයක් තිබෙනවා. අන්න ඒ විදියට කල්පනා කරන්ට ඕන. බාහිර ඔපයට - ආටෝපයට - පෙනුමට - වැඩි දෙනා ඇදී යන පමණින් මනින්න නරකයි. අර සංජය කියාපු කථාව කොච්චර උනත් ඇත්තයි. ටික දෙනයි ලෝකයේ පණ්ඩිතයින් ඉන්නේ. වැඩි දෙනා මෝඩයින්. නමුත් එපමණකින් අපි ඒ වචනය පිළිඅරගෙන එහෙම එක තැනම ලගින්න නරකයි. පාසැලක උනත් අපි දන්නවා ඒ ඒ ශ්‍රේණි වශයෙන් තිබුනත් හැමෝම බලාපොරොත්තු වන්නේ පාස්වෙන්න. දැන් එක පංතියක ඉන්නවා කියලා, එක ශ්‍රේණියක ඉන්නවා කියලා. ඒකෙම රැදිලා ඉන්නෙ නෑ නේ. විභාග වලට ඉඳගන්නේ මොකටද? ඊළහ පංතියට පාස් වෙන්න. ඊළඟට එතෙන්ට ගියාට පස්සේ එතන ලැගගෙන ඉන්නෙ නෑ නේ. දන් මේක මගේ පංතියයි කියලා. ඊළඟට තවත් විභාගයකට ඉදලා ඊට ඉහළ පංතියට යනවා. ඔහොම ඔහොම. ඒ වගේ දෙයක් තමයි මෙතනත්. මේ සංසාරේ අපේ දියුණුවක් තියෙන්ට ඕන. එක තැනම ලැගලා ඉන්නවා. අන්න එක තැනම ලැගලා ඉඳීම තමයි හණමිටි සම්ප්‍රදාය කියලා කියන්නේ.   ඒක නිසා ඒ කාරණා හොඳට නුවණින් සිහිපත් කරගන්න අද වැනි මේ වටිනා දවසක, දන් මේ සාසනයක් රකිනව කියන එක වෙන බාහිර දේවල් වලින්, ගොඩනැගිලි වලින්, රන් වැටවල් වලින්, කරන දෙයක් නොවෙයි. ඒවත් අවශ්‍ය තමයි, මේ ශාසනයේ ශ්‍රද්ධාව ඇති කර ගන්න. නමුත් ඇත්ත වශයෙන්ම මේක හදවතකින් හදවතකට යන පණිවිඩයක් වගෙයි. ඒක නිසා හදවත පිරිසිදු කරගත්තු තරමටයි - අපි හිතමු මවුපියන්ගේ හදවත පිරිසිදුයි. ධර්ම මාර්ගයේ යනවා. දාන, ශීල, භාවනා - ශීල, සමාධි, ප්‍රඥා වඩනව. ඒ පණිවිඩය අන්න දරුවට ලැබෙනවා. ඒ දරුවා ඊළඟට තමාගේ දරුවට දෙනව. අන්න ඒ විදියට ගිහි පරම්පරාව යනවා. සංඝයා වහන්සේලා අතරත් එහෙමයි. සංඝයා වහන්සේලා අතර ආචාර්යවරු ගුරුවරු ඒවායින් වැඩෙනකොට ඔන්න ගෝලයින්ටත් යනවා. ඒ විදියටයි සාසනයක් පවතින්නේ. මේ ශාසනය කියලා කියන කොට දැන්නම් ඉතිං සංඝයා වහන්සේලාට ඒක සින්නක්කරව ලියලා දීලා වගෙයි කල්පනා කරන්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මේක අර කණු හතරක් උඩ තියෙන දෙයක් හැටියට වගෙයි, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිස ගැන ප්‍රකාශ කළේ. ඉතිං ඒ විදියට දායකයින්ගෙ පැත්තෙන් ‘අපේ වැඩේ තිබෙන්නේ හොදින් හෝ, නරකින් හෝ, ධාර්මිකව හරි අධාර්මිකව හරි, ධනය ලබාගෙන එයින් කොටසක් සංසයා වහන්සේලාට පූජා කරලා දිව්‍ය ලෝක සම්පත්තිය ලබා ගන්න එකයි,’ කියන එක නොවෙයි. කල්පනා කරන්න තියෙන්නෙ, තමනුත් ඒ ධර්ම මාර්ගයේ යන්න ඕන බවයි. දන් මේ අවස්ථාවේ ඒක දිගට කියන එකක් නෙවෙයි. කලින් සඳහන් කළ අර මංගල සූත්‍රය හොදට බලාගෙන යනකොට පේනවා. ගිහි ජීවිතය අර විදියට අරඹන, හොද පරිසරයක් ඇතිව උත්පත්තිය ලබන ඒ විදියට සකස් වන ගිහි බෞද්ධයා ක්‍රමක්‍රමයෙන් සංසයා වහන්සේලාට ළංවෙලා, ධර්ම සාකච්ඡා කරලා, අන්තිමට නිර්වාණය කරාම යනවා. අන්න ඒ විදියෙ දෙයක් ගිහි පින්වතුන් වැඩියෙන් පාවිච්චි කරන මංගල සූත්‍රයේ පවා අඩංගු වෙනවා. එයින් පේනවා අපට අපේ ජීවිතය ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා යන එකක් විය යුතු බව. එක තැනම ලැග සිටීමක් නොවෙයි. ඉතින් මෙන්න මේ කාරණා ටික මේ පින්වත් පිරිසට ප්‍රමාණවත් වේය කියලා හිතනවා. මේ ගැන කල්පනා කරලා තමන් ගතයුතු ක්‍රියාමාර්ගය තීරණය කරගන්න ඕන. ඇත්ත වශයෙන්ම එදිනෙදා ජීවිතයේ මේ කාලයේ හැමදෙනා ගැනම පහසුවෙන්ම කියන්න පුළුවන් දේ තමයි, ජීවන රටාව අනුවත් සමාජ තත්ත්වය අනුවත්, පහසු ගමනක් නොවෙයි මේ ධර්ම ගමන. බණ භාවනා කරන්න කාලය සොයා ගැනීම. එදිනෙදා ජීවිතය නොයෙකුත් විදියේ භයානක ආර්ථීක සාමාජික පීඩන තුළින් යන්නේ. නමුත් අපි කලින් අවස්ථාවල කිව්වා වගේ ඒ හැම එකක්ම රුකුලක් කරගන්න ඕන මේ සසරින් මිදීමට, මේ වැඩේ ඉක්මනින් කරගැනීමට. ඒකට තමයි අර වේස්වලාගත් ආශිර්වාද කියලා කිව්වේ. ඇත්ත වශයෙන්ම ඒ විදියෙ දෙවල් නැත්නම් සුඛෝපභෝගී බවටම පෙළඹිලා ඇතැම් කෙනෙක් අධර්ම මාර්ගයටම නැඹුරු වෙලා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව ජීවිතය කෙළවර කර ගන්නවා. නමුත් යම් කිසි කෙනෙකුට ජීවිතයේ දුක තේරෙනවා නම්, සංසාර දුක තේරෙනවා නම්, තමන්ට මේ ජීවිතයේදී ලැබෙන ගැහැට තුළින් අවබෝධ කර ගන්නවා නම් මේ වගේ අනන්ත කාලයක් අපි මේ දුක විඳින්න ඇති, ඒක නිසා අපි මේකට විසඳුමක් සොයා ගන්ට ඕන කියලා, එහෙම හිතුන නම් කෙනෙකුට එතකොට අමාරුවෙන් හරි අර තමන් බුදුපියාණන් වහන්සේ වදාළ ශීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපත්තියට නැඹුරු වෙනවා. ඒ නැඹුරු උනාට පස්සේ අන්න එතකොට අර යන්තම් විවරයක් මතුකරගත්තා නම්, දවසේ විනාඩි පහක් දහයක් භාවනා කටයුතු සඳහා යොදන්න, ටිකෙන් ටික ඒකට රුචිය, ඡන්දය, ඕනෑකම, වැඩිවෙනකොට තමන්ටම තේරෙනවා දැන් ඊට වැඩිය කාලයක් අපට තියෙනවා කියලා. ඒ විදියට යම්කිසි පරිත්‍යාගයක් කරන්ට ඕන. පරිත්‍යාගය කියලා කිව්වේ ඒ ධනසම්පත් නොවෙයි. කාලය. ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයින් දැන් ඉතාමත් පසුබට වෙන්නේ මේ කාලය කියන එක පරිත්‍යාග කරන්නට. ඒ තරමට වැඩ. ඒ තරමට වැඩ. ඒ වගේම තවත් පැත්තක් යනවා මේ හැම එකක්ම පහසුවෙන් කරගන්න. ඒක දැන් මේ නවීන විද්‍යාව නිසා වෙච්ච එකක්. වෙනද අපි බොහොම මහන්සි වෙලා කරන දේ පහසුවෙන් කරගන්න. ඒවයින් සමහර වෙලාවට අපිත් අනියම් අන්දමින් ප්‍රයෝජනය ගන්න බව ඇත්ත. ඔය පොඩි යතුරක් පොඩ්ඩක් කැරකෙව්ව හැටියේ අපි ඉස්සෙල්ල බොහොම අමාරුවෙන් කරපු දේ පහසුවෙන් කෙරෙනවා. නමුත් ඒක අනුව හිතන්න නරකයි මේ ධර්මයත් එහෙමයි කියලා. බොහෝ විට අර මහා දීර්ඝ කාලයක් පාරමී පුරපු කට්ටිය තමයි අර සැරියුත් ස්වාමීන් වහන්සේලා වගේ ඉතාම සුළු වෙලාවකදී ධර්මය අවබෝධ කළේ ගාථාවක් අහල කියලා. එපමණකින් හිතන්න නරකයි මේ ධර්මයෙන් වැඩක් නෑ කියල. ඒ සඳහා කොයිතරම් කාලයක් අර සැරියුත් ස්වාමීන් වහන්සේලා උත්සාහ කරන්න ඇත්ද, පාරමී පුරන්න ඇත්ද, අර ගාථා පද දෙකෙන් සෝවාන් වෙන්න. අන්න එහෙම කල්පනා කරල අපි හිතාගන්න ඕන අපට එච්චර පුණ්‍ය ශක්තියක් නැත්නම් අපි ඒ පුණ්‍ය ශක්තිය ඇතිකර ගන්න ඕන කියල මේවායේ යෙදීමේ. ඒක නිසයි ඒවා ඒ පරිත්‍යාගය කියලා කියන්නේ. අන්න අර කාලය, ශ්‍රමය - වෙන දේවල් වලට වැය කරන කාලය ශ්‍රමය - මෙන්න මේ ධර්මය වෙනුවෙන් වැය කරන්ට ඕන. මොකද, මේක හැමදාම කරන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. බුධෝත්පාද කාලයක පමණයි, නිර්වාණ මාර්ගය විවෘත වෙන්නේ. එහෙම කල්පනා කරගෙන එතකොට මේ පින්වතුන් තම තමන්ටම තමයි ශාසනය රැකගන්ට තිබෙන්නේ. තමන් රැක ගන්න ශාසනයයි, මේ අපි කියන්නේ ජාතියක් රැක දුන්නයි මේ ශාසනය කියල. ඒ විදියට අපි ප්‍රකාශ කරන්නේ ඒ ඒ පුද්ගලයා තුළ අර විදියට ශාසනය වැඩෙනව නම් තමයි. එහෙම නැත්නම් ඒ වැඩෙන ශාසනය අන්න අර විදේශිකයින් ඇදගෙන එන, පෙනුමට තිබෙන, ඒ ඒ තැන්වල ගිහිල්ල බලන්ට තිබෙන, ශාසනයක් විතරයි. ඒක නියම දියුණුවක් නෙවෙයි. ඒක හිස් දෙයක්, බොල් දෙයක්. ඒක නිසා මේ හැම කෙනෙක්ම තම තමන් ධර්ම මාර්ගයේ යමින් කල්‍යාණ මිත්‍රයෙක්, උනානම් ඒ තුළින්, කල්‍යාණ මිත්‍ර ශක්තියක් තුළින්, මේ ශාසනය වැඩෙනවා. බුදු පියාණන් වහන්සේ ඒක නිසා තමයි ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළේ ආනන්ද හාමුදුරුවන් කිව්වහම එක් අවස්ථාවක - ඒක අපි නිතර මතක් කරල දීල තිබෙනවා - එක් අවස්ථාවක ප්‍රකාශ කළහම මේ ශාසනයෙන් භාගයක් තරම් කල්‍යාණ මිත්‍රතාව වටිනවා කියලා. ’නෑ නෑ ආනන්ද එහෙම කියන්න එපා. මුළු මහත් ශාසනයම කල්‍යාණ මිත්‍රතාවය” කියල. එතකොට හැම කෙනාගෙම පරමාර්ථය විය යුත්තේ තමන් ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තියට අදාළ ගුණ සම්භාරය දියුණු කරගෙන තමන්ගේ මට්ටමින් ඒ තම තමන්ගේ ගෙදර දොරවල්වල දූ දරුවන්ට, නෑ හිතවතුන්ට, මිතුරන්ට, ආයතනවල අනිත් අයට, තමන් දන්නා පමණින් ධර්මයෙන් සංග්‍රහ කරමින්, දන්නා පමණින් කියල දීල - මිථ්‍යා දෘෂ්ටි නෙවෙයි - තමන් හරියට දන්නව නම් මේ දේ හොදයි කියල, ඒක කියල දෙන්ට ඕන. ඒ විදියට උත්සාහවත් කරල අන්න එහෙම යන ගමන තුළින් තමයි ශාසනයේ දියුණුව සැලසෙන්නේ. එතකොට මේ වචන කීපයෙන් මේ පින්වත් පිරිසට අද වැනි මේ පොසොන් පෝය දවසක මතක තියාගෙන ක්‍රියාත්මක කරන්ට අවශ්‍ය දෙයක් කියවුනා කියලා හිතනව. ඉතිං මේ පින්වතුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයේ හැටියට යම් ශීලයක් සමාදන් උනා. ශීලය මේ සමාජයට ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මේ හීලැකම. ඒ තරමටම දුශ්ශීල භයානක අපරාධ කෙරෙන සමාජයක් ඒ පැත්තෙන් බැලුවත්. විටිනා ශීලයක් සමාදන් වෙලා බණ භාවනා වලට යොමු වෙලා මේ අවස්ථාවේ පැයක් පමණ ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ තුළින් මේ පින්වතුන්ට යම් ශ්‍රද්ධාවක්, විර්යයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක් ඇති උනා නම් ඒකම තමයි යම් කිසි අවස්ථාවක ඉන්ද්‍රියයක් බලයක් වෙලා මේ පින්වතුන්ට ලෝකෝත්තර මාර්ග එල අවබෝධ කරල උතුම් වූ අමාමහ නිවතින් සැනසෙන්ට ශක්තිය ලබා දෙන්නේ. එතකොට මේ ධර්ම ශ්‍රවණය තුළින් මේ පින්වතුන්ට ඒ උපනිශ්‍රය සම්පත්තිය අනාගතයට නෙවෙයි මේ ජීවිතයේම මේ ශක්තිය උපකාර කරගෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් සෝවාන් සකදාගාමී, අනාගාමී කියන මාර්ග ඕස්සේ අර්හත්වය දක්වාම ගමන් කරන්ට ශක්තිය බලය ලැබේවා කියලා ඒ විදියට ප්‍රාර්ථනා කර ගන්ට ඕන. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා යම් සත්ත්ව කෙනෙක් පින් අනුමෝදන් වෙන්ට, කුසල් අනුමෝදන් වෙන්ට, කැමති නම් අපගේ මිය ගිය ඥාතීනුත් ඇතුළු, ඒ හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් අද දින රැස් කර ගත්ත කුසල සම්භාරය අනුමෝදන් වේත්වා, අනුමෝදන් වී ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවන සාක්ෂාත් කර ගනිත්වා! කියල ප්‍රාර්ථනා කරමු. එහෙම හිතමින් මෙන්න මේ විදියට ගාථා කියල පින් දෙන්න. ‘එත්තාවතා ච අම්හෙහි…………..’